Sunday, June 4, 2023

Amma-අම්මා-Mother-Mathaka Amathum-Nimalasiri Klubadanagama

 අම්මා

Image by Mircea Ploscar Pixabay.com



උයා බත ඇහි පියෙන වේගෙට

අනුව ගේ උන් උසේ පිළිවෙල

බෙදාදී මුට්ටියේ අඩියට

ඉතිරි බත් හුළු දෙක ඇහිද කන

පහර කා බඩගින්දරේ සැර

කහට හුස්මට දෙකට ඇද ඇද

රඟයි ලෙද කිස නිමව අම රස

 

වැතිර නැත සැප පහසු සයනෙක

මතක වකුටුව දොඩනු සිහිනෙක

අඳුරු ලිප මුල්ලක නොවෙයි නම්

පැදුරු රොඩ්ඩක බංකුවක් උඩ

ලැබුණු හැම රස නෙරියෙ බැදගෙන

තබා දරු මුව පිනාගිය සඳ

විලස ඈ මුව ගෑව මසවුල

 

දරු සිනා මල් දැක දැක

විලස හිරු මල හිරු නැගුණ කල

උන්ගේම දුක දැක

බිදියි උන්ටත් වැඩි කඳුළු කැට

උන් ගිලන් වූ කළ

ලෙසට හිරු මල හිරු නොදුටු කල

විදියි දහ දුක උනුත් පරයා

යොමා උණුකළ  ඇගේ බුදු නෙත


නැත ලොව වදන් තව  

ඔබේ ගුණ පබදින්න කවි කර

පසඟ පිහිටා නමදින්නට

නුඹට වැඩි උතුමෙක් කොහිද මට

 

සිඹිමි ගොරැහැඩි රැළි නැගුණු අත

නේක දුක්විදි ශිලා කවිපොත

නුබේ ඩහදිය සුවඳ විද විද

ඉන්න ඇත්නම් මගෙ ඉතුරුටික


Friday, June 2, 2023

Thetha Nathi Vesi-තෙත නැති වැසි-Dry Rain-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

 
තෙත නැති වැසි

Photo by Sergey Torbik: www.pexels.com

කඳු  නෙතු අගින්
ජීවිතයකි පණ    දුන්න
ගඟකට   උරුම
දුර   ගමනක් ඇත යන්න
ඉතිරෙන හැගුම්
ගං දෑලක   පුබුදන්න
වෙරළට හාදුදී
රැළි යට  සැත    පෙන්න
 
ගඟ නෙත් බදින්නේ 
නිබදව  අහස    අරා
වැහි කොමලී 
සිනා අරගෙන වඩින   තුරා
හිටියත් නෙක මසුන් යස  
කර වටක්   දරා
නිල් නෙත් සිලිල පතනවා  
ජීවිතය      පුරා
 
වැස්සට කොහෙද
ගඟ ගැන   කල්පනාවක්
ඇගෙ කෙළි දිවිය
මත පාවෙන      වළාවක්
ගඟක දුක් ලිහිණි කී
නෙක   වතාවක්
හෙටවත් බලමු
අද නෑ මට   වෙලාවක්
 
වැහි කුමරී වෙලී සැනසී
දිවි     ගෙවන
නිල් ගිරි හිසකි බැලු බැලුවන්
නෙත්   බඳින
ඒමත තැනූ මල් ඇතිරූ
මුදු  යහන
මිස ගොහොරුවක විසුමට  කිව
ඇති   කරුණ
 
වැස්ස ඉල්ලා හඬනු කුමකට
තෙතක් නැති සුදු වළාවක් යට
කඳුළ දියකර ගැලු බව ගඟ
වළාකුල දැන ගනීවිද          හෙට
 
සඳවතිය  මදහස සලන විට
ඇගේ වත දැක රිදී දිය        මත
වළා කොමලිගේ දෑත අල්ලා
මදක් නැවතී උණ වදුළ යට
 
ගඟකටත් ඇති  නෙතක පැටලී
කියාලන්නට  හිතක බැඳි    පෙම

Saturday, May 20, 2023

Gasaka Mathaka-ගසක මතක-Memories of a Tree-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

ගසක මතක

Photo by Vlad Bagacian-www.pexels.com

 

අප උදාරම්ව පාව ගිය  මාවතක

ඇවිද යමි  දකිමි   ඇහිදිමි

ඔබ මොහොතක් නැවතී හැරී

මවෙත හසරැල් මල් මිටක් දුන් 

 නිහඬ නෙත් හෙලා වුන්

සල්ලාප අසා වුන්

නම නොතත් විසල් රුක

එලෙසමය තවම

ලෙස සොදුරු යුවතිය

නීල වරලස විදහන

 

පිරිමැද බැලිමි

සිනිඳුය පිණි ඇතිරූ  ලපළු පත්

හෙවන සුවදායකය

තාමත් පෙරසේම

ඉහිරිලා සුවඳ

ඔබ මා ලඟ ලෙසක

ඇසෙන මිණි සිලි සිලිය

බමර ගී මුනුමුණුව

සුළං හා තුරුතුර

රැඟුම් අනුරාගිකය

මුදු බැලුම්  අගිස් පිපී

හිනැහේය  දිලිසේය  නැළවේය

 

හිස්ව මෙහි ආයේ

දැකීමට නොවූවද

ඔබ දකිමි හැම අත

පියාගෙන දෑස

හද පුරා විදිමි මම

ඒ සොඳුරු පහස

දැනෙයි  තරු නෙත් කැල්ම

හෙලා බව මවෙත

ඔබ ඔතැන මම මෙතැන

බර වැඩියි සිතක

ස්නේහයක මතක

මෙයම වෙයි හද සරය

දිවි තුරා වැයෙන

ඔබ පිදූ ආදරය

එය පමණි ජීවිතය


Saturday, May 6, 2023

Hamuwaka Pema-හමුවක පෙම-Love on a date-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

 හමුවක පෙම


            Photo by Văn Thắng: pexels-1415131


නුබේ අතැඟිලි රිදුම් නිවනට

මගේ දෑතේ නවාතැන්   දෙමි

නුබේ හිස පපුතුරෙ සතපා

හදේ  ගීතය අසන්නට  දෙමි

අකීකරු කෙහෙරැළි තුඩින් ගෙන

සඳක හැඩ සුළඟකට කියමි

කදුළු මල් නොපිපෙන්න තද කොට

දෙතොල තරු පාමුලින්    තබමි

හිරුගෙ නොනිමෙන පෙමක සිසිලස

තරු නිවාගත් සඳට කියමි

 

නිවෙන තරු දෙස බලා සිටිමි

සෝක ලතැවුල් නිවා ගනිමි

නැගුනොතින් වැහි වළාවක් කළු

කොපුල් මත තරු රටා අඳිමි

ගිලී ඇස් කව්ළුවෙන් හදගැබ

ඔබේ දුක් පොත සොයා ගනිමි

එකින් එක දුක් අකුරු ගලවා

ඔබ කැමති කවි ලියා තබමි

ඔබේ එක හොද සිනා කටකට

මමත් වරුවක් සිනා සලමි

 

ඉතිං කොහොමද මිමුනුවිට තරු

බැබලුනොත් සඳ වරක් සිඹිමි

සඳයි තරුවයි  රවන විට මම

ඇස් වසාගෙන  නින්ද රඟමි

සක් දෙවිඳු බැස කණට කොදුරා

තිදසපුර යනු!. බැහැයි කියමි 

ඇස අගින් මම ඔහුට සන් කොට

හිරු නිවායන ලෙසට යදිමි

යලිත් මෙතැනම ඉපිදවී නම්

මරණයද සතුටින්ම පතමි



Monday, May 1, 2023

රට හැරයන ම මිතුර- My friend who will leave the country-Mathaka Amathum-Poem

 රට හැරයන ම මිතුර





 Image by Joshua Woroniecki from Pixabay 


මහාසෑය පිස හමන                      
වාමඬල  දුන් දිරිය
මුවපුරා අවුළුවා 
නැවුම් පැතුමක  එළිය
විසිවසක් ගෙවුමුත්             
හෙටත් සිහි කළ හැකිය  
වෙල්දෙණියේ සුවඳ බැඳ
කොළඹ ආ මුල් දිනය

 

රෑ දවල් විදි වෙහෙස
හිරැ නොදත්  රහසක්ය
හැරී බැලු විට  සැරිය
ඇරඹුනා පමණක්ය
ඇස්පනාපිට බිදුණි
ජීවිතේ සව්සිරිය 
එපා ලතැවුල් ගන්න
නුඹ එකෙක්  විතරක්ය

 

කැදැල්ලෙන් පිට  ඉගිල්ලෙන්නට
ඇත් රජුගේ වෙර  සිතට වේවා
තබනතුරු  කෙම්බිමක පියවර  
ඔබට බාධක හමුනොවේවා
නොහිම් පැතුමන්  එකක් නෑරම
නැගෙන හිරු මෙන්  සඵල වේවා
සසර ඉපදී එකම මවුබිම
වෙන්නොවන සොහොයුරන්  වේවා