Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Monday, August 12, 2024

Law of Nature-ලෝ දහම-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

 ලෝ දහම


 Photo by Hannah Reding on Unsplash

ප්‍රිය ගංගාව - නවතින්න

ඔබ ඔතැන

නොමැත කිසි  අර්ථයක්

මේ  ගැල්ම

-

ප්‍රිය සයුර මම්

ගිරි දුර්ග - මල් උයන් 

පසු කලෙමි

වෙරළ’ගින්

 මේ ගැල්ම

නිම කරමි

-

දිය ඇල්ල - වන නිල්ල   

ඔබේ සුව නැවතිල්ල

රළ බිදින  - මේ ලවණ

උරුම නැත ගඟ නුඹට

-

සිහිල් මේ  දිය දහර

නුඹෙම  විය පෙරදාක

ඇරඹුම ද නැවතුම ද

සයුර වේ ලෝ දහම

මේ ගඟට ඉඩ දෙන්න

රැළි අතර මුහු වෙන්න

-----

 මුතු රැළිති  විහිදුවා  ඉල්පෙන්න

ගං දෑල මල් කිනිති සිප ගන්න

නොමිදෙන්න - නොසිදෙන්න


Tuesday, July 16, 2024

Sorrowful Nyctanthes--සේපාලිකා-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

 

සේපාලිකා

 


Photo by Lorenzo Manera: pexels.com


දයාබර සඳ එපා

බැසයන්න

තව දුරයි නැවුම්

පෙර අරුණැල්ල

 

ආදරණිය සුළඟ ඔබ

නොහමන්න

තවත් මල් සුවඳ නැහැ

ගෙනයන්න

 

සොඳුරු තරු එළි නිවා

නිදියන්න

රැයක් මා දරා උන්

මලේ පෙති සිපගන්න

 

රැහැයියනි නො හඬන්න

එක වරක් අහගන්න

සමුගන්න පෙර හෙමින්

ආදරෙයි පවසන්න

-----

නටුව නුඹ පිනි බිංදු 

නොහෙලන්න

සේපාලිකා සුවඳ දුන්නේම 

ගිලිහෙන්න...


Saturday, February 17, 2024

Wish of a River Bank-ඉවුරක පැතුම-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

 ඉවුරක පැතුම

 


Image by Krzysztof Niewolny from Pixabay


 

කටු කලල් කුළු ගෙවා පසුකර

වෙලී වැතිරී වැලි තලා මත

මදක් නැවතී දෑස් අභිමුව

මගෙන් ඉවතට ගලා යනුමැන

තබා සටහන් මතක බැමි මත

 

ඇතත් පස යට පියුම් තුඩු දෙන

වියලි ඉවුරකි නිල්ල වියැකුණ

හෙටත් මෙතැනින් ගලා යන විට

සුවඳ විහිදන පියුම් පුබුදන

ඔබෙන් එක දිය බිඳක් දෙනු මැන

                

පිය තෙපුල් මුදු පහස් කුමකට  

සුවඳ පමණක් රැගෙන යනු මැන

සෙනෙහසින් ඔබ වැළදගන්නට

දෑලවර ගං දෑත්  විහිදා

සයුර පෙරමග බලා ඉනු ඇත

                        ___

 

බලන් විකසිත පියුම් ඉඳුවර

දිය බිඳක් දුන් ඉවුර පාමුල

ඔබෙන් පණ ලැබ සුවඳ මුසුකර

ඔබ නිදන මහ සයුර පුරවන

Tuesday, January 23, 2024

Rain Drop-වැහි බිඳුව-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

වැහි  බිඳුව

Photo by Pixabay


මෝසමක වැහි බිඳක්

වලා නෙතගින් මිදී

නවාතැන්ගෙන  සිටී

තුරු සිරස මත රැදී

තුරට ළංවී සිටී

කිසිවෙකුට නොදැනිනී

 

වැහි බිදුව එක දිනෙක

තුරු හිසින් ගිලිහුනී

තුරු පතින් තුරු පතට

හෙමි හෙමින් වැගිරිනී

ඉනික්බිති නිසල වී

කළු වලා පෙළ ලිහී

වැසි සමය නිමවුනී

 

හිරුගේ ලා කිරණ දී

සඳුගේ සිසිලස  ලැබී   

තරු උයන් මැද දිලී

සුදු සේල පෙළ සැදී

සොදුරු ඒ අහස යට

වැහි බිදුව දිළිසිණි

 

ඉපල් අග නිල එබී

කටු තුඩග මල් පිපී

තුරු අතර පළ රැදී

කුරුළු ගී හඬ පිරී

වසන්තය වඩින මග

වැහි බිදුව වැතිරිනි

 

හිතේ සොම්නස් පිරී

සිනාමල් පෙති ලිහී

ඇල් සුළං හා වෙලී

දස දෙසට විසිරිණි

මල් සුවඳ දැනි දැනී

වැහි බිදුව වියැළිනී

Sunday, December 17, 2023

Purple Flower-දම් පැහැ මල-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

දම් පැහැ මල  


Image by Jill Wellington from Pixabay

මගේ හිත මා තුලම තනිවී

නුඹ තවත් සිහිනයක් පමණි

වලාකුළ සේ හෙමින්  

ගිරි හිසින් එනු මිදී

සිහිනයක  මුණගැසී  

ඇවිද යමු අත් වෙලී  

 

යළිත් ඒ දෙනෙත් අතරේ ගිලී

ඉසිඹුලන්නට වරම් මට  නැතී

හදගැබේ මුල් ඇතී

හද මතින් මල් පිපී

පෙති අතර මා සෙවූ

සොදුරු ප්‍රේමය ඇතී

 

ගිමත් රිදවුම් කැළැල්

ගියා එකිනෙක මැකී

වසන්තය අප සොයා

යළිත් එන  භවයේදී

දම් පාට නොපිපි එක

මලක් මා වෙත තබා

ඔබ නිසා පිපි සියලු

මල් රැගෙන යා හැකී

 

කැකුළු මල මත වරක්

ළපලු තොල්පෙති තබා    

ප්‍රේමයක සුවඳ මුහුකල හැකී

වහින්නට ලග ඇතී

වලාකුල මවෙත දී

ඔබට ඉගිලී මිදී යා හැකී

 

-

නමක් නැති මල් පිපෙන

ඒ නිම්නයේ  රැදී

ඔබම එනතුරු  යළිත්

බලා ඉන්නට හැකී

Sunday, November 26, 2023

Moon on Water-සඳ දියඹ-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

 සඳ දියඹ

 

Image by Dorothe from Pixabay

නිමක් නැති සයුරු දිය

රල මතින් ඇදෙමි

මග කියන තරු අතර

රාත්‍රිය ගෙවමි

යාත්‍රා කවුළුවෙන්

සඳ මඩල දකිමි

සෙනෙහසේ තොටුපළට

සඳ ඇසින් එබෙමි

 

ඇය තුටින් නිදන බව

නෙත වසා පෙන්වා

සඳ හෙමින් හිනැහුණා

ඇගේ මුව අන්දා

සඳේ කිරණක නැගී

සිහිනයට රිංගා

දෑත් ගෙන පැමිණෙමි

වලාවක හංගා

 

නැව් බදේ හැපි හැපී

රල හඬන සයුරේ

කටු යහන මත වැතිර

මතක මං අතරේ

රැය පුරා ඇවිදයමි

ප්‍රේමයේ නගරේ

කොපුල් මත තවරමි

සඳ වතුර  සොදුරේ

 

සඳ දියේ පා කරමි

හුදකලා සුසුම

එහි තබා එවනු මැන

ඔබෙ සුවද හුස්ම

සයුරු දිය  මත අතුල

ස්නේහයේ කැල්ම

සොයා ඉම  ඇදී එමි

පහන් ටැඹ වෙතම

Sunday, October 29, 2023

Arrow Post-ඊ හස්න-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

 

ඊ හස්න

 


Photo by: Mohamed Hassan - pixabay.com


විඩා බර දිනක අග

සිනාවක මතක ඉම

සොයා ගිය අතර තුර

අහස් කුස දෙබෑකර

දුනුදියෙන් මුදා හළ

රුදුරු ඊ තල පහර

අකුණු පහරක සරින්

හරි මැදින් පපුතුරේ  ඇනුනා

ගිනි පුපුරු  හදවතේ දැනුනා

 

තියුණු විස තුඩු අගින්

විවර කල හද ගැබින්

අතීතයෙ එකතු කල   

වෛවර්ණ සහස් මල්

කැබලි වී සිදුරු වී  

ලේ දහර ගලා එන

කාගෙන්ද කොතැනින්ද

පුරුදු සුවඳක් රැදී  තිබුණා

විදුම් හළ  ඊ හසුන ලැබුණා

 

සඳ සිසිල ගලා එයි

ඇවිද ගිය පටු මගේ

ගිනි පුපුරු නිවීයන

මතක පිනි බිදු වැටේ

 

තබා ලතැවුල් සුසුම්

ඊ ය ලූ හියවුරේ  

ඔබ  තුටින් යා යුතුයි

ඉතිරි දුර  ජීවිතේ

 

හී තුඩඟ  ඇමිණෙමින්

මතකයන්  හදවතේ

අතීතය පමණි මගෙ

අද පටන්  ජිවිතේ