තෙත නැති වැසි
Photo by Sergey Torbik: www.pexels.com
කඳු නෙතු අගින්
ජීවිතයකි පණ දුන්න
ගඟකට උරුම
දුර ගමනක් ඇත යන්න
ඉතිරෙන හැගුම්
ගං දෑලක පුබුදන්න
වෙරළට හාදුදී
රැළි යට සැත පෙන්න
ගඟ නෙත් බදින්නේ
නිබදව අහස අරා
වැහි කොමලී
සිනා අරගෙන වඩින
තුරා
හිටියත් නෙක
මසුන් යස
කර වටක්
දරා
නිල් නෙත්
සිලිල පතනවා
ජීවිතය පුරා
වැස්සට කොහෙද
ගඟ ගැන කල්පනාවක්
ඇගෙ කෙළි දිවිය
මත පාවෙන වළාවක්
ගඟක දුක් ලිහිණි කී
නෙක වතාවක්
හෙටවත් බලමු
අද නෑ මට වෙලාවක්
වැහි කුමරී වෙලී සැනසී
දිවි ගෙවන
නිල් ගිරි හිසකි බැලු බැලුවන්
නෙත් බඳින
ඒමත තැනූ මල් ඇතිරූ
මුදු යහන
මිස ගොහොරුවක විසුමට කිව
ඇති කරුණ
වැස්ස ඉල්ලා හඬනු කුමකට
තෙතක් නැති සුදු වළාවක් යට
කඳුළ දියකර ගැලු බව ගඟ
වළාකුල දැන ගනීවිද හෙට
සඳවතිය මදහස සලන විට
ඇගේ වත දැක රිදී දිය මත
වළා කොමලිගේ දෑත අල්ලා
මදක් නැවතී උණ වදුළ යට
ගඟකටත් ඇති නෙතක පැටලී
කියාලන්නට හිතක බැඳි පෙම

No comments:
Post a Comment