අම්මා
Image by Mircea Ploscar Pixabay.com
උයා බත ඇහි පියෙන වේගෙට
අනුව ගේ උන් උසේ පිළිවෙල
බෙදාදී මුට්ටියේ අඩියට
ඉතිරි බත් හුළු දෙක ඇහිද කන
පහර කා බඩගින්දරේ සැර
කහට හුස්මට දෙකට ඇද ඇද
රඟයි ලෙද කිස නිමව අම රස
වැතිර නැත සැප පහසු සයනෙක
මතක වකුටුව දොඩනු සිහිනෙක
අඳුරු ලිප මුල්ලක නොවෙයි නම්
පැදුරු රොඩ්ඩක බංකුවක් උඩ
ලැබුණු හැම රස නෙරියෙ බැදගෙන
තබා දරු මුව පිනාගිය සඳ
විලස ඈ මුව ගෑව මසවුල
දරු සිනා මල් දැක දැක
විලස හිරු මල හිරු නැගුණ කල
උන්ගේම දුක දැක
බිදියි උන්ටත් වැඩි කඳුළු කැට
උන් ගිලන් වූ කළ
ලෙසට හිරු මල හිරු නොදුටු කල
විදියි දහ දුක උනුත් පරයා
යොමා උණුකළ ඇගේ බුදු නෙත
නැත ලොව වදන් තව
ඔබේ ගුණ පබදින්න කවි කර
පසඟ පිහිටා නමදින්නට
නුඹට වැඩි උතුමෙක් කොහිද මට
සිඹිමි ගොරැහැඩි රැළි නැගුණු අත
නේක දුක්විදි ශිලා කවිපොත
නුබේ ඩහදිය සුවඳ විද විද
ඉන්න ඇත්නම් මගෙ ඉතුරුටික

හරිම ලස්සන පද පේලි අයියා, මේක නුවර අම්ම ළඟ වාඩි වෙලා කියවන්න ඇත්නම් .! අම්මට තව තෑගි මොකටද...
ReplyDelete
ReplyDeleteස්තුතියි මල්ලී. ඔක්කොම අම්මලා එහෙම තමයි.