සිත රකිනා කිරිල්ලිය
නදී සෙනවිරත්න මාගේ දයාබර යෙහෙළියකි. සුරුබුහුටි කළු කබා කාරියකි. එනමුදු කටුඉඔුල් පොතේ ඇති තුන්හුලස් සහ සතරැස් අකුරු පසෙකලන ඇය මටසිළුටු කවිමුතු අකුරුම අමුණන්නීය. උළු කැට පවා සට සට ගැන්වෙන පණත් වගන්ති පොලු මුගුරු බිම හෙලන ඇය සිත් මළුපෙතම නිවී සංසිදෙන ගීතම මුමුනන්නීය. පසුගිය වසරේ ඇය ජන ගත කල මානෙල් මංගලිකා කිවිදිය අපුරුවට ලියූ ‘මහත්තයෝ’ ගීතය අසා ඇතිවූ සහකම්පනය සහ එම ගීය විවර කළ ප්‍රේමයක චමත්කාරය පිළිබද ඒක් වැකියක් හෝ ලියා තැබිය යුතුයැයි මම කල්පනා කලෙමි. ඈ පෙහෙළි කල මාවත වඩා ආලෝක වනු පිණිස ඇගේ පාසටහන් මත සමපාතවන නදීගේ පරපුරේම ගීත නිර්මාණ කිහිපයක් උපුටා ගතිමි. මානෙල් කිවිදිය මහත්තයෝ ගීතය හරහා ශරීරයකට ශරීරයක් හමුවීමත් හදවතකට හදවතක් හමුවීමත් තුලාවක දෙපැත්තේ බහා, සුවිසල් පෙමක බර අපගේ සියුමු විනිශ්චයට යොමුකර සිටින්නීය.
මහත්තයෝ සිත දෙන්නම්
සින්නක්කර නුඹට
පරිස්සමට අරන් යන්න
එනවද නුඹ ගමට
කුරුටුගාපු කඩදහියත්
අළු කෙරුවේ පෙමට
ඒත් නුඹේ කූඩුව ළඟ
මම ඉන්නම් දුරක
මේ සසරේ අහිමි වුනේ
මා කල පෙර පවට
කූඩු සිඳලා මතු සසරෙත්
යන්නට බැහැ දුරක
සිත් විතරක් අරන් තියමු
ඒ හින්දා පෙමට
ඒත් නුඹේ කූඩුව ලඟ
මම ඉන්නම් දුරක
ආදරෙයන් කතා කරලා
මට වාගෙම ඇයට
නුඹ ඉන්නකො ඈ ගාවින්
හැමදාමත් රැයට
ඉඳහිට මගෙ හිත තෙමපන්
රහසෙ යාන්තමට
ඒත් නුඹ් කූඩුව ලඟ
මම ඉන්නම් දුරක
(මානෙල් මංගලිකා)
ජීවිතයට ප්‍රේමය .ගසට එහි පොත්ත මෙනි. යසෝදරාවන් පිළිබද උතුම් සිදුහත් බෝසතාණන් පොබකළ සිත්මල, ලොවක් බියපත් කල ඇඩොල්ෆ් හිට්ලර් ඊවා බ්‍රවුන් වෙත එලෙසින්ම සුපිපි බව සැක නැත. මිණිය නොහැකි ප්‍රේමය බර සාරව කිරා මැන විචිත්‍රව විවරණය කළෝ සාහිත්‍ය කරුවෝය. එහි ඇති අමරස අපමණවත් ප්‍රේමයේ මහරු ගුණ පිළිබද අල්ප වශයෙනුත් ඔහුන්ගේ නෙක විවරණයට නතු විය . නදීගේ ගීතය ප්‍රේම ගුණ අතර ඉතාම විරල ගුණය වන අත්හැරීම හෙවත් බෝසත්පෙම පිළිබදවය. එබැවින් එය ප්‍රේම ගීත අතර සුවිශේෂි ගීතයකි. මෙම ගුණය සිංහල සාහිත්‍ය අන්දරයක් වන ‘විජයබා කොල්ලය’ හි අසන්ගයන් ඇසුරින් ඩබ් ඒ සිල්වා ශුරීන් 1938 දී ලියා තැබිය. ඔහු නිර්ලෝභීව තම ප්‍රාණ සමාන පෙම්වතිය නීළමණී සතුරු සෙන්පති නයනානන්දයන්ට හිමිකර දීම සදහා දිවි දෙවෙනි කොට කටයුතු කළේය. නදීගේ ගීතයද අත්හැරීමක් තුළ ඇති දුක්රස හෙවත් විප්‍රලම්භ ශෘංගාරය පිරි ගීතයකි. හිමිකරගැනීමෙන් නොව අත්හැරිමකින් ප්‍රේමය උසස්ම තැනකින් තැබිය හැකි බව සනිටුහන්කළ සිංහල ගීත අතලොස අතරට නදීගේ මහත්තයෝ ගීතයද එක්වේ.
නෙලා ගැනුමට නොහැකි වූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය
බලා දුර හිද - කතා නොකරම
සුසුම් පපුවක හිර කිරීම ය
(නාරද විජේසුරිය)
ආත්මයේ විමුක්තිය ලබාගත හැක්කේ ආදරයෙන් පමණකි යි රබින්ද්‍රනාත් තාගෝර් තුමා වරක් පැවසීය. මිනිස් හද තුළ සංසාරිකව නිධන්ව ඇති අපුර්ව සහ විචිත්‍රවත්ම හැගීම ලෙස ප්‍රේමය සැලකිය හැකිය. මිනිසාත් දෙවියනුත් ඔහුනොවුනට ඉතා ලැදිව විසූ අතීත යුගයක මිනිසා දෙවියන්ගෙන් උගෙන දැනට ශේෂව පවතින එකම සහ අවසාන උදාර දෙවුමිනිස් ගුණය ප්‍රේමය යැයි කිවහැකිය. හුදු අහම්බයක් ලෙස පෙනුනද, සසර ගමනේ මගනොහැරී දෙහදක් හමුවීම, හදුනාගැනීම, බැදීම මෙන්ම වෙන්වීමද දෛවෝපගතය. මල් දරන වසන්තය එනතෙක් තුරුපත් සිටින නිසොල්මන සේ, නොපිපි සුවදැති හැගුම් මල් පොකුරු බර දරා දොඩමළුදෑසින් බලා සිටි කුරුළු කිරිල්ලන් වසත් සමය ලබා ඉහිරවන පෙම් සුවඳ තරම් මිහිරක් ජිවිතයකට ඇත්තේම නැත.
සමනළ මාවතක ඇවිද නදුන් උයනක අසිරිසිරි මැද විදින අමාරසය එක් මොහොතකද, රත්වූ ගල් තලා මත දිවගොස් විඩාපත් සුසානයක පාළු ලතැවුල තව මොහොතකද උරුම කිරීමට ප්‍රේමයට හැකි බව නදී මහත්තයෝ ගීතයෙන් හැගුම්බරව මතක්කර දෙන්නීය. එවන් විසල් ප්‍රේමයක නිමාවකදී හමායන සුසුම් පොදක උණුසුමද කඳුළු කැටයක සිසිලසද මහත්තයෝ ගීතය අසන ඕනෑම සංවේදී හිතකට නිසැකවම දැනෙනු ඇත.
පරවෙලා මිහිදන් වෙලා උන්
හිත ඔහේ පර වෙන්න තිබුණා
නිල්පාට කටරොළු මලක නිල
පිපුණු හිතකට දෙන්න තිබුණා
තනිය හුරු මට මගේ ලෝකේ
තනිය තනි නොකරන්න තිබුණා
එදා ඔය ඇස් දිහා නොබලම
බිම බලාගෙන ඉන්න තිබුණා
(අභිෂේකා විමලවීර )
හුදු ආත්මාර්ථකාමී හැගීමක් ලෙස දැක්වුවද අනෙකාවෙත පිදිය යුතු බැවින් සැබෑ ප්‍රේමය පරාර්ථකාමී මනුෂ්‍යත්වයේ උදාර පිලිබිබුවක්මය. එහි ලැබීමක් මිස ලබාගැනීමක් නැත. එය සම්මත අසම්මත හෝ පිවිතුරු අපිවිතුරැ ලෙස බෙදා වෙන්කල නොහැක.ප්‍රේමය සෑම කල්හිම සම්මතය , පිවිතුරුය. ආත්මියව බැදුණු දෙහදක කල්පාන්තික ප්‍රේමය වෙලී පෙරැළෙන ගඟක විසිතුර දියමතද, කකැරෙන දියසුළි, බොරදිය මෙන්ම වැලිකැට ගැටෙන ඇමිණෙන සියුම් රිදුම් ගං පතුලේද අපමණව අත්විදිය හැකිය.ප්‍රේමයක අසිරියද එයමය. ගඟක කැලතුම් ඉගි බිගි යද, පෙන මල් උඩ දමන මුසුප්පුවද , පාළු බිම් එළිකරන කිංකිණියද වඩා විචිත්‍ර හා තීව්ර වන්නේ බාදක වැඩිවන තරමටය.
ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදක් නොකරම වරදෙහි බැඳුනී
සිත සනසාගෙන දුර හිද විඳිමී
(රුෂාන් සිල්වා)
ගතක් සින්නක්කරව පහසුවෙන් ලබාගත හැකිමුත් සිතක උරුමය එසේනොවේ. ප්‍රේම පාරමිතාවක් නොමැතිව දෙසිතක් යානොවේ. කෙතරම් තරල ගුණ සපිරි වුව ජලය තෙල් සමග මුසු නොවන්නාසේ නොපිරූ සිත් යා දෙක නොරත රත මය.මානෙල් කිවිදිය ලියන ප්‍රේමවන්තිය කුරුටු කඩදහි ගිනි තබා අවසන් කලද ප්‍රේමයේ භෞතික සාක්ෂි සටහන් සියල්ල දවා අළු කල හැකිමුත් සිතක පිරි ඉතිරෙන මිහිරි-අමිහිරි මතක සමරුම් ශිලාසිත් පවුරේ යුගාන්තය තෙක්ම පවතින්නේය . උනුන් ප්‍රේමයෙන් පිරවූ ජිවිත දුරස් වුව හිස් නොවේ. එපමණක් නොව, යුගතින් ගිලිහුණ ඒ විසුල සුවඳ පුෂ්පය ඇස්පියන් යට තිරව රැදී කදුළින් ජීවය ලබමින්ද, සුපෙම්සුවද විහිදුවමින්ද මතක අසිරිය බෙදමින්ද සදාකල් ඇය සමඟ වෙසෙනු ඇත. මතක විදුලිය දහරකින් තුන් සිතම එළියවන මොහොතක කිසිකලෙක අමනාපයක සේයාවක් නොමැති සදාතනික පෙම්සිත් දෙකක එකම පැතුම, උනුන් කොහේ සිටියත් කුමක් කලත් ප්‍රේමයෙන් අභිනික්මන්කල ජිවිත සතුටින් පිරේවායි යන්නයි.
කොහේ හෝ ඔබ නතරවී
කාට හෝ ජීවිතය දී
තුටින්නම් මට ඒ ඇති
මගේ නොවුනට කම්නැති
නුඹ මගේ නොවුනට කම්නැති
(ශාමිලා හුසේන්)
මානෙල්ගේ ගීයේ මාහට පෙනෙන දැල්වෙන පද්‍ය පෙළ නම් “ඉඳහිට මගෙ හිත තෙමපන් රහසෙ යාන්තමට” යන කොටසයි. යුවතියක සිත උපන් මහාමෙරක් තරමේ ප්‍රේම ප්‍රර්ථනා එක් මිටක් කොට ඔහු අත තබා වෙන්ව ගිය ඇයගේ සියලු බලාපොරොත්තු දැන් එපමණකි. ඔබට මා මතක්වන දිනක රිදුම් පිරිමැද, සිරවූ සුසුම් රැලි මුදා, සියදහස් වර උණුසුම් දෙතොල පහස විදි ඒ නළල් පිණි පලස සිතින් පමණක් සිප සනසා යන ලෙසට ඇය අවසන ඔහුට ආයාචනා කරන්නීය.
ඔහුනොවුන් ගතින් දුරස් නමුදු එක්ව පොදිබැඳු ස්නේහයක රස මතක පවන් රොද ඔහුන් හිස පිරිමදිමින්ද ,මුව දැවටෙමින්ද, ගත වෙලෙමින්ද , සුසුමන් යාකරමින්ද නැවුම් පෙම් සුවඳ වියැකී යානොදී ඔහුන්ගේ ඉතිරි දිවි සැරිය දැන් ඉතිං සනසාලනු ඇත. එදත් අදත් හෙටත් ඇගේ කඳුල ඔහුගේ ඉකිබිදුමයි, ඇගේ මදහස ඔහුගේ සැනසුමයි. ඔහුටම කැපකළ ඇගේ සිත්මල ඔහුගේම රැකවරණයේ තබා අළුත් දිවියට සුබපතා නික්මගිය ඇයටද ඇයගේම ජිවිතයක් තිබේ. එහෙත් සඳ එලිය සැගවගිය දොම්නසින් පිරි දවසක නිතැතින්ම සිතට ඇදී එන මතක සෙවණැලි අඳුර දුරලන ඇයට හිමි පැහසරය යටගියාවක පෙම් පිණිමුතු එකිනෙක ගෙන ආදරයෙන් පිරිමැදීමය, කාලය නම් හුයක ඇමිණීමය, සුසුම්ලමින් ලිහීමය, තනියම සිනාසී නැවතත් ඇමිණීමය .
තාරකා නෙතු සිසිල ලදිමි
ස්නේහයේ භව සුවද විදිමි
තැවෙන හද සනසවා නික්මි
සසර මඟ මම බලා හිදිමි
මෙවැනි සංවේදී ගීත තව බොහෝ ගනනක් නිර්මාණය කිරීමට නදිටත්, මානෙල් මංගලිකා කිවිදියටත් සංගීත ඇතුළු සෙසු කණ්ඩායමටත් ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කරමි
නිමලසිරි කළුබදනගම