Saturday, July 15, 2023

Gasai Valai-ගසයි වැලයි-Tree and Vine-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

ගසයි  වැලයි

                                             Photo by Tahir Shaw: www.pexels.com




ඉවුර අග නිල් දළු දරා මම 

ඔබට සෙවණක් සදා දෙන්නැති

ඔබ ලතාවක් වී වෙලී ගත 

හිස  හොවා ලය  රැය ගෙවන්නැති

ඔබේ  හුස්මක සුවඳ මට දී 

මගෙන්  උණුහුම් සුසුම් ගන්නැති

සියුමූ ඔබේ අත්පසුරැ තුඩු’ගින් 

සෙනෙහෙබර පිරිමැදුම් දෙන්නැති

කුමුදු මල් පොඩි අයාගෙන මුව 

සුවඳ දී  ඇස් වසා ගන්නැති

වළාකුලකට මුවාවී සඳ 

ගං දියේ  ගිලි   සිනාසෙන්නැති

ගඟේ රැළි  පංසිළු ව පරදා 

නිම් නැතුව  පෙම් ගී ගයන්නැති

ගං දෑල තරු  කිනිති අතුරා 

අහස  සතුටින් පිනි ඉසින්නැති

 

අපේ පණ  ගෙන නව ළපළු ඉති  

එතී  ඇස පාමුළ සිටින්නැති

දෙවුර  මත මගෙ  උකුල මත ඔබේ 

දණගගා කිරි සුවඳ දෙන්නැති

හිරැ බසින  පඬු අහස යට තරු 

වැටෙන හැඩ බල බලා ඉන්නැති

මගේ  නෙත් ඔබේ දිලෙන නෙතගින් 

අමුතු තරු එළි අහිද ගන්නැති

අපේ  ලෝකෙම   රැජින වී ඔබ 

පෙම් කිරුළ මිණි හිසදරන්නැති

 

අඳුරු හවසක  ගුගුර ගුගුරා  

අසනි  වැසි හී  තුඩු   හෙලන්නැති

අයා මුව ගං දිය රකුසු වී 

දස දිසාවම  වසාගන්නැති

අපේ ජිවිත ලෙහා ඉන් 

සා පැටවූ ජීවිත ගැට ගසන්නැති

රුදුරැ මරු දත් විළිස්සද්දිත්  

දෑත් පටලා  මුව සිඹින්නැති

ඔබේ  අන්තිම හුස්ම මට දී 

මගෙ හුස්ම ඔබ අරන්යන්නැති


නිමානැති  මේ සසර යළි ඒ 

සුවඳ පොද සොය-සොයා එන්නැති


Saturday, July 8, 2023

Sihina Pini Bidu-සිහින පිනි බිඳු-Dewdrops of Dreams-Mathaka Amathum-Nimalasiri Kalubadanagama


සිහින පිනි බිඳු


                                                                        Image by JillWellington:pixabay.com 


සිත් ගුහා ලෙන සිද බිඳ

ඉගිලී  සිහින මෙරු කැළ

තටු හලා ඇස්  පියන් අග

පලා ගිය  අද රැයකි නිදි දුව

 

දිලෙන තරු යුවළක එළිය වැද  

රිදුම් දෙන ලය  මඩල පිරිසිද 

රැ දවල් සෙනෙහයෙන් ඇහිදින

සිහින පොට්ටනි  ලෙහා එක එක

සුසුම් ලා ගිනි උදුන පිඹ පිඹ

උණු කලෙමි හිම මිදුණු සිහිනය

 

හිමිව නැත ඒ  මේඝ දූතය

පරෙවි සැළලිහිණින් කොහිද මට

සුවඳ පොදකින් ඔබව හඳුනන

මගේ  හදවත පියා සල සල 

යයි තුඩින් ගෙන  සිහින මුතු පොට

 

ඔබ නිදන උස්‌ කුළුණ පාමුල

පිපී ඇති ලා උඳු  පියළි අග

ඔබේ සුන්දර සිනා දැක දැක

දිලෙන්නට ලා හිරැ කිරණ වැද

සිඹින්නට ඔබෙ සුමුදු පා යුග

තබා එමි මගෙ සිහින පිනි බිද

 

එපමණකි හද ඉතිරි සිහිනය

Sunday, July 2, 2023

Paludu Sada-පළුදු සඳ-The Broken Moon-Mathaka Amathum-Nimalasiri Kalubadanagama


පළුදු සඳ


Photo by Aron Visuals: www.pexels.com

 

තරිදු වත්සුණු හෙළා  

ලොව එකලු  කල  දුකට

ඉරිසියා  කැකුළු තරු  

ඇහිද බර වළා     කැට

කඳු අගින් එබී එබී  

ගසා ගල් සඳ    වතට  

පළුදු කර සඳක ඔප 

විදිති අරුමැති සතුට

 

විලක් කර  මත හොවා

මලක් නළවනු    මිසක

දිය අරා ගොර සපුන් 

සරන බව සඳ නොදැක

දැනී මුදු මොළොක් අත  

ඇනී  විෂ කටු    තුඩක

හිස හොවා ඉකි බිදියි 

සඳක් කළු  වළාවක

 

සඳ හෙළු මුතු අහුර  

තබා  මුදු  වළා  මැද

මීදුමකි ඇස් වසා   

සැඟව ගිය   විල නිබඳ

වළා කෙහෙරැළි මුදා 

දිලෙන දින සරා සඳ

අත් වනයි තඹරකර  

පන්සියක් කැකුළු සඳ

 

මිලින තරු එළි අදත්   

මකාවිද   මහත් සඳ


Tuesday, June 20, 2023

Saptha Varna Kaviya-සප්ත වර්ණ කවිය-The Seven Colour Poem-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

 

සප්ත වර්ණ කවිය


                                                            Image by pixabay.com 

විලක්  දිය මත ලියූ කවි මෙසේය:

අහස් වියන  ඝන සළුවෙන්   වසා     තියා

වනපෙත ගුගුර ගුගුරා බිම සලා       තියා

විදුලිය ඉරක් ඇඳ   ගිනි කණ වසා     තියා

අසෙනිය මල්  ඉසියි සිත බබළවා      තියා

 

විල් දිය සැලෙයි  නොහැගෙයි ඒ කිමද කියා

ඔබ රුව අඳිමි  දියමත  රැය නෙත නොපියා

හෙට මා වෙතට ඒ යැයි විල අගෙයි     කියා

පියවිලි ඇතිරු වෙමි මානෙල්  කැකුළු  තියා

 

හිදිනෙමි  මගබලා  නුඹ    අහසම         හින්දා

නෙතු මග හරිමි ඇසිපිය නොසැළෙන හින්දා

දුටු සිහිනයක්  ලෙස  බොඳ වී යන        හින්දා

දුර හිඳ බලමි  ඔබ හිරු කුමරිය             හින්දා

 

විල් තෙර අහස මත ෂඩ්වර්ණයෙන් දිස්වූ කවිය මෙසේය :

 

පාට පිණි පොකුරු  මල්  පෙති මත     ඉසිමි

සවනක් කැලුම් දී විල පැහැසර             කරමි

ලෙස සෙවණැල්ල  හිමි හිරු පසු පසින්   යමි

මතු භවයෙදි  නිල් මානෙල් මලක්        වෙමි


Thursday, June 15, 2023

Mal Nathiva Mal Suwada-මල් නැතිව මල් සුවඳ-The Fragrance of Flowers without Flowers-Mathaka Amathum-Nimalasiri Kalubadanagama


මල්  නැතිව  මල් සුවඳ

 

                                                Photo by Valeria Boltneva: www.pexels.com



සිනිඳු පෙති මත ඇත නුඹේ වත

නේක පැහැයෙක රෝස මල්මිට

සහස් හිරු පෑ දෑස් දල්වා

දෙවොල වෙත බැති සිතින් එන සඳ

අකල්හි ආ වියරු සුලඟක

ගැටී මල් පෙති විසිර දස අත

එක මලක් වත් ඉතිරි නොකරම

සොරා ගත් ලෙස ආත්මය මුළු

පුදන්නට කිසි දෙයක් දැන් නැත

 

දවා ගිය  හදගැබක  මුකුළිත

හමා  එන දුක් සුසුම් සිරකර

නෙතු අගක  පිණි දියෙන් තෙම තෙම

තබමි පුදසුන සුසුම් එක එක


නොඑනු යළි වියරුවේ මාවෙත

සුසුම් මල් ඇත පිපී  යායක

නොසෙල්වී ලෙස  ඉන්ද්‍රඛීලය

පැරදවමි ඒ චණ්ඩ  මාරුත

 

තරු එළිය දැක නින්ද නොම දැක

කළු වළා මත සිහින ඇඳ ඇඳ

වළාකුළු ඉර ඉරා විසිකළ

පිණි පලස් මත රෝස යායක

මල් නැතත්  මල් සුවඳ තව ඇත

 

අසනු මැන දෙවි යොමා දිව නෙත

තිස් පැයේ ලයමඩල විමසන

පෙමක් වී  ඒ තරම් මනහර

කිමද  සුසුමක් දී මෙහෙම බර