ගසයි වැලයි
Photo by Tahir Shaw: www.pexels.comඉවුර අග නිල් දළු දරා මම
ඔබට සෙවණක් සදා දෙන්නැති
ඔබ ලතාවක් වී වෙලී ගත
හිස හොවා ලය රැය ගෙවන්නැති
ඔබේ හුස්මක සුවඳ මට දී
මගෙන් උණුහුම් සුසුම් ගන්නැති
සියුමූ ඔබේ අත්පසුරැ තුඩු’ගින්
සෙනෙහෙබර පිරිමැදුම්
දෙන්නැති
කුමුදු මල් පොඩි අයාගෙන මුව
සුවඳ දී ඇස් වසා ගන්නැති
වළාකුලකට මුවාවී සඳ
ගං දියේ ගිලි සිනාසෙන්නැති
ගඟේ රැළි පංසිළු ව පරදා
නිම් නැතුව පෙම් ගී ගයන්නැති
ගං දෑල තරු කිනිති අතුරා
අහස සතුටින් පිනි ඉසින්නැති
අපේ පණ ගෙන නව ළපළු ඉති
එතී ඇස පාමුළ සිටින්නැති
දෙවුර මත මගෙ උකුල මත ඔබේ
දණගගා කිරි සුවඳ දෙන්නැති
හිරැ බසින පඬු අහස යට තරු
වැටෙන හැඩ බල බලා ඉන්නැති
මගේ නෙත් ඔබේ දිලෙන නෙතගින්
අමුතු තරු එළි අහිද ගන්නැති
අපේ ලෝකෙම රැජින වී ඔබ
පෙම් කිරුළ මිණි හිසදරන්නැති
අඳුරු හවසක ගුගුර ගුගුරා
අසනි වැසි හී තුඩු හෙලන්නැති
අයා මුව ගං දිය රකුසු වී
දස දිසාවම වසාගන්නැති
අපේ ජිවිත ලෙහා ඉන්
සා පැටවූ ජීවිත ගැට ගසන්නැති
රුදුරැ මරු දත් විළිස්සද්දිත්
දෑත් පටලා
මුව සිඹින්නැති
ඔබේ අන්තිම හුස්ම මට දී
මගෙ හුස්ම ඔබ අරන්යන්නැති
නිමානැති මේ සසර යළි ඒ
සුවඳ පොද සොය-සොයා එන්නැති

Very beautiful.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
DeleteThank you 😊
ReplyDelete