Sunday, October 29, 2023

Arrow Post-ඊ හස්න-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

 

ඊ හස්න

 


Photo by: Mohamed Hassan - pixabay.com


විඩා බර දිනක අග

සිනාවක මතක ඉම

සොයා ගිය අතර තුර

අහස් කුස දෙබෑකර

දුනුදියෙන් මුදා හළ

රුදුරු ඊ තල පහර

අකුණු පහරක සරින්

හරි මැදින් පපුතුරේ  ඇනුනා

ගිනි පුපුරු  හදවතේ දැනුනා

 

තියුණු විස තුඩු අගින්

විවර කල හද ගැබින්

අතීතයෙ එකතු කල   

වෛවර්ණ සහස් මල්

කැබලි වී සිදුරු වී  

ලේ දහර ගලා එන

කාගෙන්ද කොතැනින්ද

පුරුදු සුවඳක් රැදී  තිබුණා

විදුම් හළ  ඊ හසුන ලැබුණා

 

සඳ සිසිල ගලා එයි

ඇවිද ගිය පටු මගේ

ගිනි පුපුරු නිවීයන

මතක පිනි බිදු වැටේ

 

තබා ලතැවුල් සුසුම්

ඊ ය ලූ හියවුරේ  

ඔබ  තුටින් යා යුතුයි

ඉතිරි දුර  ජීවිතේ

 

හී තුඩඟ  ඇමිණෙමින්

මතකයන්  හදවතේ

අතීතය පමණි මගෙ

අද පටන්  ජිවිතේ

Saturday, October 21, 2023

Tharu Dedum-තරු දෙඩුම්-Talks to a Star-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

 තරු දෙඩුම්

 

Photo by Kammeran Gonzalez-Keola: pexels.com


තරු මිතුර ඔබ

හිරු වඩින තුරු

මේ ඉසව්වෙන්

බැස  නොයනු මැන

 

නින්ද නොනිදන

රැයක වගතුග

හෙමින් පවසමි

අසා ඉනු මැන

 

සමුදුරක රල

සේ  නැගී එයි

හැපී හඬ දෙයි

යමක් ලය මැද

 

නෙත් වසාගත්

සැනින් එළබෙයි

තරු දෙකක්

රැය පුරා දිදුලන

 

වලාකුළු මත

ඇවිද රෑ මැද

ඇහිද තරු කැට

තියයි සඳ මත

 

සඳුන් සුවදැති

අමුතු සුළඟක්

මුමුණමින් කවි

වෙළෙයි මා ගත

 

අසන්නට කිසි

කෙනෙක් නැතුවට

විටින් විට අඩගසයි

නමකට

 

සිතුම් පවසන

වදන් නැති තැන

සුසුම් ලෙස 

මුහු  කරයි අහසට


 

තරු ප්‍රියාණෙනි 

ඇය බලනු මැන

සුවෙන් නිදිදැයි

මට කියනු මැන

  

ඇගේ  සිහිනෙට

එළිය දෙනු මැන 

හෙටත් මා වෙත 

සවන් දෙනු මැන

 


Thursday, October 5, 2023

Pini Bidaka Mila-පිනි බිඳක මිල-Price of a Dewdrop-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

පිනි බිඳක මිල..

 
Photo by Ravi Kant: pexels.com

අහස පිනි බිඳු හෙලා

පොළව සනසනු විනා

අබළුවක වන්දියක් 

හිතින් නොපැතූ නිසා

 

මලක් ඒ පිනි බිදක්

සිනිදු පෙති මත තබා

සිනාසෙන උජාරුව

අහස එබිකම් කලා

 

වලාවක් ගෙන එලා

අහස බිම වැතිරිලා

ගලා එන සත් වර්ණ  

කිරණ සිත්තම් කලා

 

ලොවේ ඇතිතෙක් දේට

මිලක් පවතී කියා

පිනි බිදක මිල අසා

මලක් ඇවිටිලි කලා

 

පිනි පොකුරැ මල් බෙදා

නොහිම් සතුටක් ලබා

මලේ ලංසුව අසා

අහස කැළඹි ගියා

 

මිලක් වීනම් දෙයක

පාට හිමි නැති නිසා

සත් වර්ණ නිවාගෙන

අහස නොපෙනී ගියා

Wednesday, September 27, 2023

Athu Agaka Pipuna Mala-අතු අගක පිපුන මල-Flower That Blooms at the Tip of a Branch-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

අතු අගක පිපුන මල


Photo by www.pexels.com

අතු අගක පිපුන මල  
දුරක් යන්නට සිතී
සුළං රැල්ලක නැගී
මිටින් ගැල වෙන්නැතී   
 
ඇවිද ගිය මාවතේ
පුංචි වැලි කැට පවා  
සර සරස් හඬ නැතී
බිම බලා ගෙන ඇතී
 
වංගුවේ විසල් රුක්
සෙවණ අඳුරේ ගිලී
ඉතිත් හැකිලී හැලී
දුකින් නිසලව ඇතී
 
සන්තානයේ දැවෙන   
දෙයක් ඇමිණී දැනී
නෙතක් දැකුමට සැදී  
රැයම නොනිදා නිදී
 
සිතුම් සයුරක් පිරී
ඇතත් ගොළුවී අපී
පටුමගේ කෙටි දුරක් 
හෙමින් ඇවිදිමු යලී
 
එදා අත වැනූ මල්
ඇතත් පරවී වැටී
නැවුම් මල් ඇති පිපී
අදත් ඒ සුවඳ දී
 
තවත් එක සුසුමකට
ලයේ  ඉඩකඩ ඇතී
මියෙන තුර ඒ සුසුම
රකින්නට  පුළුවනී

  



Sunday, September 10, 2023

Gala Yanu Mana Oba-ගලා යනු මැන ඔබ-You Should Flow-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

ගලා යනු මැන ඔබ...

Photo by unsplash.com

  කඩදාසි මල් පිරුණු

මිටියාවතින් හැරී

රළු බොරළු මඩ ගොහොරු 

හෙමින් පසු කර එමී

හද මඩල අවදිවී  

ඒ සිනා හඩ ඇසී

සසරෙ පෙර  පුරුද්දෙන්  

ඔබව  හදුනාගමී

 

සිනා දහසක් එකම 

සිනාවක් මත රැදී

ඇද හැළෙන කාන්තිය 

නෙත් පුරා විදගමී

ලෙසින් සඳ එළිය මිස 

සඳක්  හිමිවී නැතී

ඔබේ එක දිය බිඳක් 

දෙතොල තවරා ගමී

 

අසනි වැසි මැද තෙමී

හිතක් ඇත ගල් ගැසී

පැතුම් මල් පෙණ පොදී 

රඟන  දෑතේ වෙලී

ඔබම තෝරා ඇතී 

සොදුරු ගමනක් ඇතී

ගලන්නට ගිගුම්   දී   

ඉතින් මම නවතිමී

 -

වරක්  නැවතී හැරී 

ඔබේ රුව ඇඳ  ගමී

මතු සසරෙ දිනකදී  

දිය සොයා පැමිණෙමී