Wednesday, September 27, 2023

Athu Agaka Pipuna Mala-අතු අගක පිපුන මල-Flower That Blooms at the Tip of a Branch-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

අතු අගක පිපුන මල


Photo by www.pexels.com

අතු අගක පිපුන මල  
දුරක් යන්නට සිතී
සුළං රැල්ලක නැගී
මිටින් ගැල වෙන්නැතී   
 
ඇවිද ගිය මාවතේ
පුංචි වැලි කැට පවා  
සර සරස් හඬ නැතී
බිම බලා ගෙන ඇතී
 
වංගුවේ විසල් රුක්
සෙවණ අඳුරේ ගිලී
ඉතිත් හැකිලී හැලී
දුකින් නිසලව ඇතී
 
සන්තානයේ දැවෙන   
දෙයක් ඇමිණී දැනී
නෙතක් දැකුමට සැදී  
රැයම නොනිදා නිදී
 
සිතුම් සයුරක් පිරී
ඇතත් ගොළුවී අපී
පටුමගේ කෙටි දුරක් 
හෙමින් ඇවිදිමු යලී
 
එදා අත වැනූ මල්
ඇතත් පරවී වැටී
නැවුම් මල් ඇති පිපී
අදත් ඒ සුවඳ දී
 
තවත් එක සුසුමකට
ලයේ  ඉඩකඩ ඇතී
මියෙන තුර ඒ සුසුම
රකින්නට  පුළුවනී

  



Sunday, September 10, 2023

Gala Yanu Mana Oba-ගලා යනු මැන ඔබ-You Should Flow-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

ගලා යනු මැන ඔබ...

Photo by unsplash.com

  කඩදාසි මල් පිරුණු

මිටියාවතින් හැරී

රළු බොරළු මඩ ගොහොරු 

හෙමින් පසු කර එමී

හද මඩල අවදිවී  

ඒ සිනා හඩ ඇසී

සසරෙ පෙර  පුරුද්දෙන්  

ඔබව  හදුනාගමී

 

සිනා දහසක් එකම 

සිනාවක් මත රැදී

ඇද හැළෙන කාන්තිය 

නෙත් පුරා විදගමී

ලෙසින් සඳ එළිය මිස 

සඳක්  හිමිවී නැතී

ඔබේ එක දිය බිඳක් 

දෙතොල තවරා ගමී

 

අසනි වැසි මැද තෙමී

හිතක් ඇත ගල් ගැසී

පැතුම් මල් පෙණ පොදී 

රඟන  දෑතේ වෙලී

ඔබම තෝරා ඇතී 

සොදුරු ගමනක් ඇතී

ගලන්නට ගිගුම්   දී   

ඉතින් මම නවතිමී

 -

වරක්  නැවතී හැරී 

ඔබේ රුව ඇඳ  ගමී

මතු සසරෙ දිනකදී  

දිය සොයා පැමිණෙමී

 


Sunday, August 27, 2023

Diya Rela-දිය රළ-Wave-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

 දිය රළ


Photo by unsplash.com

  

සයුරු තෙර රළ පෙනෙන මානෙක  

විසුල වැලි මාළිග  තනා

ඔබේ  රුව සුදු වැලි තලා මත

නිදි වරා සිතුවම් කළා

පෙන පබළු අමුණා සුදෝ සුදු

සොඳුරු සිරියහනක් තනා

ඔබ කැමති කවි ලියා පෙති මත

වන මලින් වියනක් කළා

වසත් කල මේ  දැන් එතියි  සිතු

කල්පයක් ගෙවිලා ගියා

 

වියළි තොල දිය යදින සවසක

ගිමත් කල නිමවා තියා

සිහිල ගෙන  දියරළක් සපැමිණ

වැලිකතර උයනක් කළා

ස්නේහයක පෙර පුරුදු සුවඳක්

හදවතේ ගල්වා තියා

මතක එළියක් ඉතිරි කොට හෙට

ආ සැණින් පිටවී ගියා

 

කල්පයක් මා සමඟ  උන් සිත

රළ අතර සැඟවී  ගියා


Friday, August 18, 2023

Ae Kanda-ඒ කන්ද-That Mountain-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

ඒ කන්ද 


Photo by Taryn Elliott:.pexels.com

නටුව හල මිලින මල්

රැගෙන යන  සුළං රැල්

මල් හෙටත් පිපෙන බව කීවේ

 

අද ලෙසම හිරු හෙටත්

රැස් දහර නෙවෙනස්ව

ගෙනෙන  බව  සඳු රැයෙම  කීවේ

 

නැගී එන පුර සඳක්

නිවී යන බව හෙමින්

නිදිවරා තරු බලා උන්නේ

 

හිරුත් නැති සඳුත් නැති

ගිරි සිරස මත දිලී

එකම තරුවකි අඳුර බින්දේ

 

ඇසිල්ලෙක  ඇස වැසී

තරුව වැටුණිය ලිහී

ඒ කන්ද නෑ තාම දන්නේ

 

දැවී සැඩ හිරු ගින්නේ

තෙමී ගල්වෙන පින්නෙ

ඒ තරුව දකින  තුරු  ඉන්නේ

 

පිසින  මද නල තුටින

ගලන ගං දිය සොබන

පමණි දුර සිට දනෝ වින්දේ

 

කඳුළු උණු දිය  උනන

ළසෝ සුසුමක්  නැගෙන

කැකෑරෙන යමහලක්

කන්ද සඟවන බවක්

කිසි කෙනෙක් නෑ තවම දන්නේ



Wednesday, August 9, 2023

Api Iththo-අපි ඉත්තෝ-We are Checkers-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

 

                අපි ඉත්තෝ!!

Photo by Tai's Captures on Unsplash



අහක ලූ  දඩු   කඩින්                     ඉපදුනි

පයින් මැඩ රළු බිමේ                    ඔපවුනි

පාට දෙකකින්     බෙදී                  වෙන්වුනි

කඩු අමෝරා සටන්                      ඇරඹිණි

 

කපන උන්  උඩට

කැපෙන උන් අහකට

 

කැපූ කල ආදරෙන් හාදු දී

කැපුනු කල තූ!  කියා නිගරු දී

අඳ බාල උන් ඔහේ  අදින අතකට ඇදී

රාමුවක   ඉමු ඇලී ජිවිතය පුස් බැදී

අපේ  ඉරණම  උන්ගෙ  සෙල්ලමකි නැති බැඳී  

 

කැපූ  උන් කැපුන උන් යළි එකට මුණ ගැසී

අඳුරු අගු පිලට  වී   දිවි ගෙවමු හිරිවැටී

ඇදපු උන් මධු සාද ජය නදින් බිහිරි වී

අපි අපිම කැති ගාමු හෙටත් දෙපසට බෙදී

 

අපි ඉත්තෝ!!