ඒ කන්ද
Photo by Taryn Elliott:.pexels.com
නටුව හල මිලින මල්
රැගෙන යන සුළං
රැල්
මල් හෙටත් පිපෙන බව කීවේ
අද ලෙසම හිරු හෙටත්
රැස් දහර නෙවෙනස්ව
ගෙනෙන බව සඳු රැයෙම
කීවේ
නැගී එන පුර සඳක්
නිවී යන බව හෙමින්
නිදිවරා තරු බලා උන්නේ
හිරුත් නැති සඳුත් නැති
ගිරි සිරස මත දිලී
එකම තරුවකි අඳුර බින්දේ
ඇසිල්ලෙක ඇස වැසී
තරුව වැටුණිය ලිහී
ඒ කන්ද නෑ තාම දන්නේ
දැවී සැඩ හිරු ගින්නේ
තෙමී ගල්වෙන පින්නෙ
ඒ තරුව දකින තුරු ඉන්නේ
පිසින මද නල
තුටින
ගලන ගං දිය සොබන
පමණි දුර සිට දනෝ වින්දේ
කඳුළු උණු දිය උනන
ළසෝ සුසුමක් නැගෙන
කැකෑරෙන යමහලක්
කන්ද සඟවන බවක්
කිසි කෙනෙක් නෑ තවම දන්නේ

No comments:
Post a Comment